භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨාධිපති ස්වාමින් වහන්සේගේ පණිවුඩය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේලාගේ උසස් අධ්‍යාපනය අරමුණු කරගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර එහි මුඛ්‍ය කාර්යභාරය වන්නේ බුදුදහමෙහි චිරස්ථිතිය උදෙසා කැපවූ ධර්මධර විනයධර ශික්ෂාකාමි භික්ෂු පරපුරක් බිහිකරලීමයි. වරින් වර විවිධ සංශෝධනයන්ට ලක්වෙමින් පැවත ආ මෙම විශ්වවිද්‍යාලය වර්තමානය වන විට ඉතා ඉහළ මට්ටමක සංවර්ධනයක් ප්‍රකට කරයි.
2012 වර්ෂයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද විශ්වවිද්‍යාලයීය නව සංශෝධිත පනත මගින් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයන පීඨ ආරම්භ කිරීම වැදගත් ශාස්ත්‍රීය සංවර්ධනාත්මක පියවරක් ලෙස ගිණිය හැකිය. ඒ අනුව භාෂා විෂයයන් හා සමාජීය විද්‍යා විෂයන් ඇතුළත් වන පීඨය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය ලෙස ස්ථාපිත කෙරිණ. එම පීඨය යටතේ භාෂා අධ්‍යයන අංශය හා සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය යනුවෙන් අධ්‍යයනාංශ දෙකක් ක්‍රියාත්මක වේ. සිංහල, සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ, චීන, ජපන් ආදි භාෂාවන් භාෂා අධ්‍යයන අංශය යටතේ ඉගැන්වේ. සමාජීය විද්‍යා විෂයයන් වශයෙන්, අධ්‍යාපන විද්‍යාව, පුරාවිද්‍යාව, පුස්තකාල හා විඥාපන විද්‍යාව, මනෝවිද්‍යාව, සමාජවිද්‍යාව, දර්ශනය, ඉතිහාසය, උරුම කළමනාකරණය ආදි විෂයයන් සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය යටතේ ඉගැන්වේ.
විශ්වීය සමාජය වෙත බුදුදහමෙන් ඉගැන්වෙන දර්ශනය සම්පේ‍්‍රෂණය කිරීමෙහිලා භාෂා හා තදනුගත විෂය ධාරාවන්ගෙන් පරිපූර්ණ, කුසලතා පූර්ණ, ශික්ෂාකාමී, ව්‍යක්ත, විශාරද භික්ෂූන් වහන්සේලා පිරිසක් බිහිකරලීම මෙම පීඨයේ අරමුණු වේ.
මහාචාර්ය පූජ්‍ය කනංගමුවේ රාහුල හිමි,
පීඨාධිපති,
භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය